ශ්‍රීලංකාවේ දක්නට ඇති සුවිශේෂි සෞන්දර්යාත්මක පාරිසරික ව විද්‍යාත්මක හා පුරාවිද්‍යාත්මක වටිනාකම්වලින් යුත් ස්ථානයක් ලෙසට රිටිගල ශේෂ කඳු වැටිය හඳුන්වා දිය හැකිය. අනුරාධපුර දිස්ත්රික්කයේ පලුගස්වැව හා කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මායිම්ව පිහිටා ඇති රිටිගලට ළඟා වීම සඳහා කැකිරාව හබරණ හෝ මරදන්කඩවල හබරණ මාර්ගයේ ගණේවල්පොළ හරහා ගලපිටමඩ මහා විද්‍යාලය ඉදිරිපසින් වමට හැරී එතැන් පටන් ගුරු පාර ඔස්සේ තවත් කිලෝමීටර් හයක් පමණ ගමන්කල යුතුය. එසේම අනුරාධපුර සිට මිහින්තලේ මුඩියන්කඩවල හරහා ද පැමිණිය හැකිය.
ශ්‍රී ලංකාවේ දැනට පවතින වනජීවී දැඩි රක්ෂිත තුනෙන් එකක් ලෙස රිටිගල භූමිය හඳුන්වාදිය හැකිය. ආඩියාකන්ද, පලතුරු කන්ද , ඖෂධ කන්ද ආදී කඳු වැටි කිහිපයක් පුරා පැතිරී ඇති මෙම රිටිගල අක්කර 3777 ක භූමි ප්‍රමාණයක් පුරා පැතිරී ඇත.
අතීතයේ දී අරිට්ට ගිරි අරිට්ඨ පබ්බත ලෙස හඳුන්වා ඇති මෙම කන්දට එලෙස නම් යෙදීම පිළිබඳ මතවාද කිහිපයක් ඇත. රිටිගල කඳු පාමුල ඇති රිටිගස් බහුල ප්‍රදේශය නිසාද මෙම කන්දට රිටිගල ලෙස නම් තැබූ බව එක් මතයකි. එමෙන්ම ක්‍රිස්තු පූර්ව තෙවැනි සියවසේ දී සිදු වූ මහින්දාගමනයත් සමගම ශ්‍රී ලංකාවේබුදු දහම ස්ථාපිත කිරීමෙන් පසු මෙරට පැවිදි ශාසනයට ඇතුළු වූ ප්‍රථම භික්ෂූන් වහන්සේ වන අරිට්ඨ මහා මහරහතන් වහන්සේ වැඩ වාසය කිරීම සඳහා මෙම ස්ථානය තෝරා ගත් බැවින් ද අරිට්ඨ පබ්බත ලෙස නම් තබන්නට ඇතැයි විශ්වාස කෙරේ.
මහින්දාගමනයෙන් පසුව දේවානම්පියතිස්ස රජු මෙරට පැවිදිවීමට ඇතුළු දහස් ගණන් සංඝයා වහන්සේලාට වාසී කිරීම සඳහා රටපුරා ස්වභාවික ලෙන් සකස් කොට පූජා කළ බව සඳහන්ය. මෙම ලෙන්වල බ්‍රාහ්මීය අක්ෂර වලින් ඒ පුවත සටහන් කොට ඇති අහර රිටිගල ප්‍රදේශයෙන් ද එබඳු ලෙන් රැසක් හමුවී ඇත.
එච් සී පී බෙල් මහතා සොයාගත් සෙල්ලිපියකට අනුව ක්‍රිස්තු පූර්ව 119 - 109 සසද්ධාතිස්ස රජුගේ දෙටු පුත් ලජ්ජිතිස්ස රිටිගල විහාරයක් සාදා ඇති බව සඳහන්ව ඇති අතර තවත් සෙල්ලලිපියක වළගම්බා රජු විසින් රිටිගල අසල කුඹුරු යායක් කරවා භික්ෂු ශාසනයට පූජා කළ බව සදහන් වේ.
මෙම විහාර ආරාමවල නටබුන් අද වන විට ද රිටිගලට පිවිසෙන ඔබට දැක ගැනීමට හැකියාව ලැබේ.
රිටිගල භූමියට පිවිසෙන විට මුලින්ම අපට හමුවන්නේ “භන්දා” නම් පොකුණයි. මෙය විශාල ශෛලමය පොකුණකි. පුරාවිද්‍යාඥයින් විසින් මෙය හඳුන්වනු ලබන්නේ දකුණු ආසියානු කලාපයේ පවත්නා විශාලතම පොකුණ ලෙසයි. පන්සියයක් පමණ සංඝයා වහන්සේලාගේ පැන් පහසුව සඳහා මෙම පොකුණ නිර්මාණයය කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. මීට අමතරව ශෛලමය වේදිකා, ගල් පාලම්, පියගැට පේළි, බෙහෙත් ඔරු, සසලපතල මළු, ගිමන්හල්, සෙල්මුවා පහන්, තටාක, පහන් කනු, කැසිකිලි ගල් ආදී බොහොමයක් නටබුන් මෙම භූමියේ දී අපට දැක ගැනීමට හැකියාව ලැබේ.
රිටිගල කඳුවැටිය ආශ්‍රිතව නිර්මාණයය වී ඇති ජනශ්‍රුති ද රාශියක් පවතී. රාමායණ කතා පුවත ඒ අතරින් එක් ජනශ්‍රුතියකි. මෙරටදී අසනීප තත්ත්වයට පත්වන රාමාගෙ පිරිසට ඖෂධ ගෙන එන ලෙසට හනුමාන් හිමාලයට යැවෙන අතර හිමාලයට ගියපසු ඔහුට ගෙන ඒමට පැවසූ ඖෂධය අමතක වෙයි. මෙම නිසා ඔහු හිමාලයෙන් කොටසක් රැගෙන ආ බවත් එය ලංකාවේ ස්ථාන තුනකට කඩා වැටුණු බවත් එම ස්ථාන තුනෙන් එකක් රිටිගල ලෙසටත් ප්‍රබන්ධ සාහිත්‍යයේ එයි. එමෙන්ම ජනශ්‍රැතියේ පැවැත එන මහාසෝනාගේ සම්භවය සිදුවන්නේ ද රිටිගල ප්‍රදේශය ආශ්‍රිතව යැයි විස්වාස කෙරේ.
ජෛව විවිධත්වය අනුව විමසා බැලූ කල ද රිටිගලට හිමි වන්නේ ඉතාමත් සුවිශේෂී ස්ථානයකි. තෙත්කලාපීය, වියළි කලාපීය හා කඳුකර යන කලාප තුනටම අයත් ශාකයන් එකම ස්ථානයකදී දැක ගත් හැකි ස්ථානයක් ලෙසට රිටිගල නම් කළ හැකිය. රිටිගල කඳුවැටියේ පහළ කොටසේ වියලිකලාපීය ශාකයන් වර්ධනය වේ. මෙම කොටසේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 25-30ක් පමණ ගනියි. කඳුවැටියේ මැද කොටස වන විට කඳුකර කලාපීය ශාක ද ඉහළ කොටස වන විට තෙත් කලාපීය ශාක වර්ග වර්ධනය වී ඇති ආකාරය දැක ගැනීමට ලැබෙයි. කඳුවැටියේ ඉහළ කොටස දැඩි රක්ෂිතයක් ව පවතින අතර එම භූමියට ඇතුළුවීමට කිසිවකුටත් අවසර නොමැත. මෙම ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 10-15 අතර ර ප්‍රමාණය දක්වා පහළ බසී. මෙය සැබැවින්ම ජෛව විවිධත්වයෙන් අනූන පරිසර පද්ධතියකි. ශ්‍රී ලංකාවට ආවේනික ශාක සත්ව ප්‍රජාවන් මෙන්ම රිටිගලට පමණක් ආවේණික ශාක ප්‍රජාවන් ද මෙහිදී අපට හඳුනාගත හැක. රිටිගල “වන මී” මෙයින් එකකි.
මෙබදු සුන්දරත්වයන්ගෙන් පිරි රිටිගල කදු වැටිය ත්‍රාස්‍ය ජනකත්වය සමගින් නොයිදුල් පරිසරයක චමත්කාරය විදීමට කදිම තෝ තැන්නකි.
@AnuradhaP @user_not_found





