ශ්‍රී ලංකාවේ ලාක්ෂා නිෂ්පාදන යනු නූතනය වන විට ලොව පුරා විශාල ආකර්ශනයක් දිනා ගත් නිෂ්පාදනයකි.විවිධ ස්වභාවික වර්ණ යොදා ගනිමින් ඉතාම සුන්දර ලෙස වර්ණ ගන්වා සිදු කරන මෙම අත්කම් නිර්මාණ සාම්ප්‍රදායික කර්මාන්තයක් ලෙසට අතීතයේදී ක්‍රියාත්මක විය. නමුත් වර්තමානය වන විට සමාජයෙන් බොහෝ ඈතට ගොස් ඇති මෙම ලාක්ෂා කර්මාන්තයේ සුන්දරත්වය තවමත් අත්විදිමට ශේෂ වී ඇති ස්ථාන කිහිපයෙක් එකක් ලෙස මාතලේ හපුවිද ගම්මානය සදහන් කළ හැකිය.
මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති සුන්දර ගම්මානයක් ලෙස හපුවිද සඳහන් කළ හැකිය. මාතලේ නගරයේ සිට කිලෝමීටර් 12 පමණ දුරින් පිහිටා ඇති මෙම ගමට ළගා වන අයෙකුට මාතලේ උකුවෙල, ඇල්කඩුව මාර්ගයේ ගොස් ලෑලි අඹේ ප්‍රාථමික විදුහල අසලින් හපුවිදට ළගා විය හැකිය . කදු වැටියක් හරහා වැටී ඇති මෙම පටු මාවත අතිශය දර්ශනීය වේ. සිහිළැල් දිය ඇලි, මීදුම් බා ගත් කදු වැටි මෙන්ම අලංකාර තේ වතු ද හපුවිද දක්වා වූ මාර්ගයේ දී දක්නට ලැබෙයි.
පවුල් 50ක් පමණ ජීවත් වන මෙම ගම්මානයේ සියලු දෙනාම පාහේ තම ජීවනෝපාය කර ගෙන ඇත්තේ ලාක්ෂා කර්මාන්තයයි. වෙන් වෙන් ව ඔවුන්ගේ නිවෙස්වල පවත්වාගෙන යනු ලබන මෙම නිෂ්පාදනය ක්‍රම දෙකක් මගින් සිදු කරනු ලබයි. එනම් පට්ටල් ක්‍රමය හා නියපොතු ක්‍රමයයි. නමුත් අද වන් විට මෙම ගම්මනයේ නියපොතු ක්‍රමය මගින් ලාක්ෂා කලාවන් සිදු කරන අය සිටින්නේ දෙදෙනෙකු පමණි. පියාගෙන් පුතාට යන ලෙසට පාරම්පරිකව පවත්වා ගෙන පැවත ඇති මෙම සාම්ප්‍රදායික කර්මාන්තය අද වන විට විශාල අවධානමකට මුහුණ පා සිටියි. එනම් ගම්මානයේ සිටින අනාගත පරම්පරාව ලාක්ෂා කර්මාන්තයෙන් ඉවත් වී වෙනත් වෘත්තීන් වලට යොමු වීම නිසා අනාගතයේ දී එම කර්මාන්තය නැති වී යාමේ අවධානමයි.
දැනට සුළු වශයෙන් සංචාරක ආකර්ෂණය ද දිනාගෙන ඇති මෙම ගම්මනයේ ඇති කෙත්වතු, ඇළ දොළ, කුඩා දිය ඇලි, මෙන් නොයිදුල් ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරය ද මෙහි ග්‍රාමීය සුන්දරත්වය වැඩි දියුණු කරයි. අනාගතයේ දී අප අතරින් ගිලි හී යාමේ අවධානමකින් යුත් ලාක්ෂා කර්මාන්තයේ අස්පර්ශීය සංස්කෘතික ලක්ෂණයන් විදිය හැකි සුන්දර ස්ථානයක් ලෙසට හපුවිද ලාක්ෂා ගම්මානය පෙන්වා දිය හැකිය.